Monday, May 6, 2024

General line - 0115112241

කොවිඩ්, මන්කිපොක්ස් සහ HIV වෛරසයන් එක්වර ආසාදනය වූ ලොව පළමු පුද්ගලයා ඉතාලියෙන් වාර්තා වෙයි 




එකම අවස්ථාවකදී කොවිඩ්, මන්කි පොක්ස් සහ HIV වෛරසයන් ආසාදිත වූ ලොව පළමු පුද්ගලයා ඉතාලියෙන් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෑතකදී ස්පාඤ්ඤයේ සංචාරයක නිරතව සිට යලි ඉතාලිය බලා පැමිණි 36 හැවිදිරි පුද්ගලයෙකු මෙලෙස වෛරස 03කට එකවර නිරාවරණය වී ඇති බවයි කතානියා සරසවියේ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

මෙම පුද්ගලයා ජුනි මස 16 සිට 20 වෙනිදා දක්වා ස්පාඤ්ඤයේ සංචාරයක නිරතව සිට ඉතාලියට පැමිණ තිබෙන අතර එහිදී ඔහු තවත් පුද්ගලයෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වා ඇති බව සඳහන්.

ඉතාලියට පැමිණීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් අනුව සිදුකළ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට ඉකුත් ජුලි මස 02 වෙනිදා හඳුනා ගෙන ඇත. ඉන් පසුව ඔහු නිරෝධායනයට යොමු කර සිටියදී එම රෝගියාට ශරීරයේ ස්ථාන රැසක ඇතිවූ බිබිලි සහ වසා ගැටිති ඉදිමීම් හේතුවෙන් යලි රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහුට මන්කිපොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ගෙන ඇත.

මේ අතර එහිදී මෙම පුද්ගලයාගේ ලිංගාශ්‍රිත රෝග කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති අතර එහිදී ඔහුට HIV වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුට HIV ආසාදනය වී ඇත්තේ මෑතකදී බවට වන සාධක හඳුනා ගැනීමට වෛද්‍ය විශේෂඥයින්ට හැකියාව ලැබී ඇත. මන්ද ඔහු 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ද HIV පරීක්ෂණයට මුහුණ දී තිබු අතර එහිදී ඔහු ආසාදිතයෙකු නොවන බවයි හෙළිවී තිබුණේ.

ජුලි 11 වෙනිදා මෙම ආසාදිතයා රෝහලෙන් පිටත්ව ගියද ඔහුට අඛණ්ඩව තවත් දින 20ක් නිරෝධායනය වන ලෙස රෝහල් බලධාරීන් උපදෙස් ලබාදී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.