Saturday, May 4, 2024

General line - 0115112241

රැජිණගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනපති රනිල් ලන්ඩනයට




අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යය දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වීමට පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ලඟා වී තිබෙනවා.  
 
එහිදී ජනාධිපතිවරයා පිළිගැනීම සදහා පොදු රාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර්, බ්‍රිතාන්‍යය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිතන් ඩේව් ඊස්ටන් සහ බ්‍රිතාන්‍යය  ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන අය සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

හෙට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේහී පැවැත්වෙන දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සදහා සහභාගීවීමට නියමිත ජනාධිපතිවරයා එළඹෙන බදාදා අලුයම යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුලදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර තිබෙනවා.