Sunday, May 5, 2024

General line - 0115112241

IMF සහයෙන් මෙරට ආර්ථික අර්බුදය ජය ගත හැකි බව අගමැති කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම හරහා රට තුළ ඇති ආර්ථික අර්බුදය ජය ගත හැකි බව ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට නොහැකි බව සදහන් කරන පුද්ගලයින්ම ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ගොස් පැමිණිලි කරන බවයි.

දැනට ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලොව බොහෝ රටවල් මෙරටට සහයෝගය දක්වන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු පළමුවරට අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව රුවන්වැලි සෑ රදුන් වැද පුදා ගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. පසුව අටමස්ථානයට අයත් ආගමික ස්ථාන වැද පුදා ගත් අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණීමෙන් අනතුරුවයි මාධ්‍ය වෙත අදහස් පළ කළේ.