Monday, May 6, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනමට එරෙහි ගොනුකළ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි




ග්ලයිෆොසෙට් වල් නාශක තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ, එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ගාමිණී අමරසේකරගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව සීමිත  විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස  12 වනදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එදින පෙත්සම යළි කැඳවන ලෙස නියෝග කළා. පාරිභෝගික සේවා අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත යලි නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ  ග්ලයිෆොසෙට් වල් නාශකය  තහනම් කරමින් 2017 වසරේ නිකුත් කර තිබූ නියෝග ඉවත් කරමින් ඒවා භාවිතය සඳහා අවසර දෙමින් වර්තමානයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. ග්ලයිෆොසෙට්  භාවිතය හේතුවෙන් ජල මූලාශ්‍රවලට දැඩි හානියක් සිදුවන බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

පස් සහ පැළෑටිවලටත් ඉන් විශාල අගතියක් සිදුවන බවයි එම පෙත්සම පෙන්වා දී ඇත්තේ. මේ හරහා මිනිස් සෞඛ්‍යයට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම වල් නාශක භාවිතය තුළින් මත්ස්‍යයින්, පක්ෂීන් වැනි ජීවීන්ටද අගතියක් සිදු වන බව පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම හරහා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තහනම ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරනනියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.