Monday, May 20, 2024

General line - 0115112241

සියලු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට මහලේකම්ගෙන් ලිපියක්




ලබන 04 වනදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගී වන ලෙස පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇතැයි පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ සම්මේලනය පවත්වන දිනය සහ ස්ථානය තීරණය කිරීමෙන් පසු එම දැනුම්දීම සිදු කළ බවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැවසුවේ සම්මේලනයට සහභාගී වන ලෙස තමන්ට මෙතෙක් ආරාධනයක් ලැබී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා. එහිදි අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය කුරූණෑගල මාලිගාපිටියෙදී සවස 02.00 ට පවත්වන්න සූධානම් කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රට පුරාම සිටින ජනතාව සහභාගී වනවා. ඒ වගේම සියළුම මැති ඇමතිවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියළු දෙනාම සහභාගී වීමට නියමිතයි. අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට , පලාත් සභා මන්ත්‍රීවරුන්ට සියළු දෙනාටම ආරාධනා කරනවා. කිසිම වෙනසක් කරන්නේ නැහැ”.

සියලු මන්ත‍්‍රීවරුන්ට ලිඛිතව ආරාධනා කිරීම් සිදු කර ඇති බවයි මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.