Thursday, April 25, 2024

General line - 0115112241

සෞදියේ ඔටුන්න හිමි කුමරු අග්‍රාමාත්‍ය ධූරයට පත් කෙරේ




සෞදි අරාබියේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මාන් නම් කර තිබෙනවා. ඒ, සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුගේ නියෝගයකට අනුව සිදු කෙරුණු කැබිනට් සංශෝධනයක් මගින්. මෙම පත් කිරීමට පෙර සෞදියේ අග්‍රාමාත්‍යධූරය දැරුවේද සල්මාන් රජු විසින්.

මොහමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර සෞදියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළා. මේ වනවිට 36 වන වියේ පසුවන සෞදියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු එරට ආර්ථික, ආරක්ෂක, ඉන්ධන, අභ්‍යන්තර ආරක්ෂාව යන අමාත්‍යංශ රැසක් භාරව කටයුතු කළා.

කෙසේවෙතත් මොහමඩ් බින් සල්මාන් දැරූ සෞදියේ ආරක්ෂක අමාත්‍යධූරයට ඔහුගේ සොහොයුරු කලීඩ් බින් සල්මාන් කුමරු පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

86 හැවිරිදි සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජු විසින් මෙලෙස හදිසියේ කැබිනට් සංශෝධනයක් සිදුකළ හේතුව මෙතෙක් අනාවරණ කර නැහැ. එහෙත් රජු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අවස්ථා කිහිපයකදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

මේ අතර මොහමඩ් බින් සල්මාන් කුමරු හට සල්මාන් රජු විසින් අග්‍රාමාත්‍යධූරය පිරිනැමීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සහ නීතිමය බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා මොහමඩ් බින් සල්මාන් කුමරු මෙලෙස සෞදියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි.