Sunday, May 5, 2024

General line - 0115112241

ගැටුමෙන් පසු ඉන්දුනීසියාවේ සියලු ලීග් පාපන්දු තරගාවලි අත්හිටුවයි




ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් එරට ලීග් පාපන්දු තරග තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා. ඒ, නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පැවති පාපන්දු තරගයකින් පසු හටගත් කලහකාරී තත්ත්වයෙන් පසු පුද්ගලයින් 129 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් අනතුරුවයි. ඒ, සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වන තුරු මෙලෙස ලීග් පාපන්දු තරග නොපවත්වන ලෙසයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර ඉන්දුනීසියාවේ පාපන්දු කීර්තිනාමයට කලු පැල්ලමක් එල්ල වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාපන්දු සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. 

ඉන්දුනීසියාවේ ජාවා හි කන්ජූරුහන් ක්‍රීඩාංගනයේදී අරේමා එෆ් සී සහ පර්සොබයා සුරාබයා යන කණ්ඩායම් දෙක අතර මෙම තරගය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තරගය අවසන් බවට විනිසුරු සංඥා කිරීමෙන් පසු ප්‍රේක්ෂකයින් 3000ක පමණ පිරිසක් ක්‍රීඩා පිටිය තුළට කඩා වැදී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. ඒ සමග කලබලයට පත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයෙන් පිටව යාමට උත්සාහ දැරීමේදී තෙරපීමට ලක්වීමෙන් සහ කදුළු ගෑස් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට පත්වීමෙන් මෙලෙස මියගොස් තිබෙනවා. 

ක්‍රීඩාංගනය තුළදී පුද්ගලයින් 34 දෙනෙකු  මියගොස් ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව තවත් පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ. සිද්ධියෙන් 180ක් පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

මෙම ක්‍රිඩාංගනයේ ප්‍රේක්ෂකයින්ගේ සම්පූර්ණ ධාරිතාව 38,000ක්. එහෙත් මෙම තරගයේ ටිකට් පත් 42,000ක් පමණ අලෙවි වී ඇති තිබෙනවා. ඒ අනුව එරට ප්‍රධාන ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාංගනයේ ධාරිතාව ඉක්මවා වැඩිපුර ප්‍රේක්ෂකයින් 4000ක් පමණ සිට ඇති බවයි. 

මේ අතර 1964 වර්ෂයේ පේරු රාජ්‍යයේ ලිමා හීදී ද පාපන්දු තරගයක් අතරතුර මෙවැනි කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහිදී පුද්ගලයින් 320 දෙනෙකු මියගොස් ඇති අතර 1000ක පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ, පේරු සහ ආර්ජන්ටිනා යන කණ්ඩායම් අතර පේරු රාජ්‍යයේ ලිමා හීදී පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයකදීයි.