Saturday, May 4, 2024

General line - 0115112241

සී ජින් පින් 03 වන වරටත් චීනයේ ජනපති වෙයි - අගමැති සිය ධූරය අතහරින ලකුණු




චීනයේ දේශපාලන ඉතිහාසය අළුත් කරමින් ජනාධිපති සී ජින්පින් අද සිය බලය තවදුරටත් තහවුරු කර ගත්තා. ඒ චීනයේ ජනාධිපතිවරයා ලෙස සිය තුන්වන ධූර කාලය තහවුරු කර ගනිමින්. චිනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන කොංග්‍රස් සමුළුව ඊයේ අවසන් වුණා.

අනතුරුව රැස්වුණු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් සී ජින්පින් එම කමිටුවේ මහ ලේකම්වරයා ලෙස පත්කර ගෙන තිබෙනවා. ඒ අනුවයි ඉදිරි පස් වසරක කාලය සඳහා සී ජින්පින් යළිත් චීනයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණේ. ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂය විසින් මීට පෙර ව්‍යවස්ථාව ද සංශෝධනය කර ගනු ලැබුවා. 

ඒ අනුව චීන ජනාධිපති සී ජින්පින්ට අසීමිත බලයක් හිමිවනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ. එහි ප්‍රතිපලය ලෙස සී ජින්පින්, මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ එරට හිටපු පාලක මාඕ සේතුංගෙන් පසු චීනයේ පාලනය ගෙන ගිය බලවත්ම පාලකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. 

මේ අතර සී ජින්පින් විසින් දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවට ද නියෝජිතයින් පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ සී ජින්පින්ගේ විශ්වාසවන්තම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ට එම තනතුරු හිමිවනු ඇති බවයි. කෙසේවෙතත් චීනයේ අග්‍රාමාත්‍ය ලී කේ ක්වෑන්ග් එම කමිටුවට පත්කර නැහැ. විදෙස් මාධ්‍ය පවසන්නේ ලී කේ ක්වෑන්ග් ලබන මාර්තු මාසයේදී සිය ධූරලය අතහරිනු ඇති බවයි.