Sunday, May 5, 2024

General line - 0115112241

පාසැල් සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද අධිකරණය හමුවට




මාතර, තිහගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට වෙඩි වැදී තුවාල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
 
පාසල් සිසුන් කිහිපදෙනෙකු ඊයේ පස්වරුවේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එය නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.

තුවාල ලැබූ වයස අවුරුදු 15ක් වන එම පාසල් සිසුවා මේවනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලිස් කණ්ඩායම භාරව සිටි වයස අවුරුදු 57ක් වන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
 
පාසල් සිසුවාට වෙඩි වැදීමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් තිහගොඩ පොලිස් ස්ථානය ආසන්නයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.