හික්කඩුව තිරාණගම ප්රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි සහ 47 හැවිරිදි හික්කඩුව කළුපේ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
රොෂාන් ද සිල්වා හෙවත් කටා රොෂාන් ඝාතනයේ විත්තිකරුවන් දෙදෙනෙකු වන එම පුද්ගලයින් දෙදෙනා එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට පෙනී සිටීම සදහා ගාල්ල අධිකරණය වෙත යතුරු පැදියකින් යමින් සිටියදී එලෙස ඝාතනයට ලක්ව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වනදා හික්කඩුව නලාගස්දෙණිය ප්රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා රොෂාන් ද සිල්වා ඝාතනය කර තිබුණා. පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.