Friday, April 26, 2024

General line - 0115112241

වනිදු ලොව හොදම 20යි 20 පන්දු යවන්නාට ලං වෙයි




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත් වී තිබෙනවා. ඔහුට හිමි ලකුණු සංඛ්‍යාව 697ක්.

පන්දු යවන්නන්ගෙ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන්නේ වනිදුට වඩා ලකුණු 3ක් පමණක් ඉදිරියෙන් සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්. ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගයට පෙර වනිදු පසුවූයේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානයේයි. නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ස්ථාන දෙකක් පහළ යමින් මහේෂ් තීක්ෂණ නවවන ස්ථානයේ පසුවනවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කඩුළු 13ක් දවා ගනිමින් වනිදු හසරංග වැඩිම කඩුළුලාභියා බවට පත්ව සිටිනවා. කඩුළු 9ක් බිද හෙලූ මහේෂ් තීක්ෂණ 7වන ස්ථානයේ පසුවනවා. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරු ලෙස නව වාර්තාවක් බිහිකිරීමට ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාට් කෝලි අද සමත් වුණා. ඒ, ශ්‍රි ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පිහිටුවා තිබූ වාර්තාව බිද හෙලමින්.

මහේල මෙම වාර්තාව 2014 වසරේදී බිහි කළේ ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී ලකුණු 1,016ක් රැස් කරමින්. විරාට් කෝලි මේවනවිට තරග 25කදී ලකුණු 1,065ක් රැස් කරගෙන සිටිනවා.  

මේ අතර බංග්ලාදේශය සමග අද පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6කට ලකුණු 184යි.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 16කට තරගය සීමා කෙරුණු අතර බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 151ක්. එහෙත් බංග්ලාදේශයට රැස් කරගත හැකිවූයේ ලකුණු 145ක් පමණයි.