Sunday, May 5, 2024

General line - 0115112241

මෙරට දුම්රිය සේවය වැඩි දියුණු කිරීමට ඉන්දියාවේ අවධානය




මෙරට දුම්රිය මාර්ග පද්ධතිය හා අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සදහා සහය ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඉන්දීය ප්‍රවාහන අමාත්‍ය ශ්‍රී නිතිත් ගට්කාරි සමග පැවති සාකච්ඡාවකදීයි.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශයේදී එරට ප්‍රවාහන අමාත්‍යවරයා හමු වූ බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ.

එහිදී දෙරට අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය හා හවුල්කාරීත්වයට අදාළ කරුණු රැසක් පිළිබදව අවධානයට ලක් කර තිබෙනවා. එම සාකච්ඡාවේදී කරුණු දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබද ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා දැනුවත් කළ බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ. 

විදුලියෙන් ක්‍රියාකරන බස්රථ මෙරටට ලබාගැනීමට ඇති හැකියාව පිළිබදවද දෙරටේ අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සහය වීමට සහ පොසිල ඉන්ධන මත යැපීම අඩු කරන විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබද තමන් සතු පුළුල් අත්දැකීම් මෙරට සමග බෙදා ගැනීමටත් ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී එකගතාව පළ කළ බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.