Sunday, January 12, 2025

General line - 0115112241

පළමු දිනයේදීම වාර්තා රැසක් අලුත් වූ නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගය 




සනත් ජයසූරිය අභිබවමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තා පොත් අතරට එක්වූවා. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් මෙම කඩඉම පසුකර යෑමට සමත් වුවා.

2009 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 110කදී සනත් ජයසූරිය ලබාගත් ලකුණු 6,973 පසුකර යෑමට සමත් වුවා.

35 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිටින්නේ කුමාර් සංගක්කාර (ලකුණු 12,400) සහ මහේල ජයවර්ධන (ලකුණු 11,814)ට පසුව පමණක් වීම විශේෂත්වයක්.

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47කට දැවී ගියා.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරියගේ වැඩිම ලකුණු වාර්තාව පසුකර යෑමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස සනත් ජයසූරියගේ ලකුණු 5932 පසුකර යාමටයි දිමුත් කරුණාරත්න අද සමත් වුයේ. 

මේ අතර නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක ටීම් සවුති එරට වෙනුවෙන් වැඩිම ටෙස්ට් විකට් ලබාගත් පන්දු යවන්නා බවට අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ ඩැනියල් විටෝරි දවා ගෙන තිබු කඩුලු 705 සීමාව පසුකර යමින්. දිනේෂ් චන්දිමාල් ගේ කඩුල්ල දවා ගනිමින් සවුති එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා පිල නවසීලන්ත සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී කඩුලු 6ක් දැවී ලකුණු 305ක් ලබාගෙන සිටිනවා.