Saturday, January 11, 2025

General line - 0115112241

නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර එල් පී එල් අවසන් සටන අද




එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් අතරයි.මෙම කණ්ඩායම් දෙක LPL අවසන් මහා තරගයක මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.

තරඟාවලියේ මුල සිටම දක්ෂතා දැක්වූ දඹුල්ල කණ්ඩායම මූලික වටය නිමාකලේ ප්‍රසාද ලකුණු සටහනේ අංක එකේ ස්ථානයේ රැදෙමින්. මූලික වටයේ පලමු අදියරේදී අසාර්ථක වුවත් නුවර පැවති තරග වලින් විශිෂ්ට දක්ෂතා දක්වමින් නුවර කණ්ඩායම තරඟාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත්වූණා.

 

මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ නුවර කණ්ඩායමේ නායක වනිදු හසරංගයි.

වනිදු තරග 10කදී කඩුලු 19 බිඳ හෙලා ඇති අතර පිතිකරුවෙකු ලෙස ඉනිම 09කදී ලකුණු 279 රැස් කරගෙන සිටිනවා.

වැඩිම කඩුලු ලාභින් අතර දෙවන තැන තරග 6කදී කඩුලු 13ක් බිඳ හෙලූ කැන්ඩි කණ්ඩායමේ නුවන් ප්‍රදීප්ටද වැඩිම ලකුණු ලාභීන් අතර හතරවන තැන තරග 9කදී ලකුණු 235 ක් රැස් කල කැන්ඩි කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට ද හිමිව තිබෙනවා.

ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දනංජය ද සිල්වා මෙන්ම අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් දඹුල්ල කණ්ඩායම නියෝජනය කරනවා. තරග 9කදී ලකුණු 239ක් සමග අවිශ්ක ප්‍රනාන්දු රැදී සිටින්නේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානයේයි.

එබැවින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් උරෙන් උර ගැටෙන මෙම තරඟය LPL ඉතිහාසයේ උණුසුම්ම අවසන් මහා තරගය වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයන් මත පල කර ඇත්තේ.