Saturday, January 11, 2025

General line - 0115112241

චමීර - වනිදුට ආබාධ, කුසල් - අවිෂ්කට කොවිඩ් - ශ්‍රී ලංකා පිලට කුමක් වෙයිද ? (VIDEO)




එළෙඹන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. 

ඒ, ක්‍රීඩකයින්  කිහිප දෙනෙකුගේ සහභාගිත්වය අවිනිශ්චිතවීම හේතුවෙන්.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ආබාධයකට ලක්ව ඇති වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට ආසියානු කුසලානය අහිමිවීමට වැඩි ඉඩක් පවතින බවයි. 

ආබාධයකට ලක්ව ඇති වනිදු හසරංගගේ සහභාගිත්වයද පවතින්නේ අවිනිශ්චිත මට්ටමකයි. 

මේ අතරතුර ඉකුත්දා නිමා වූ එල් පී එල් තරගාවලියේදි දක්‍ෂතා දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වැළදී ඇතැයි මේ වනවිට වාර්තා වනවා. 

ඔවුන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ ඔවුන් සුවය ලබන තත්ත්වය අනුවයි. 

දුෂ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුෂංක හෝ කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු නම් කිරීමට ඉඩ ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

එහෙත් එල් පී එල් තරගාවලියේදී හොදම දක්‍ෂතාව දැක්වූ වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු සොයාගැනීම ගැටලුවක් බව ක්‍රීඩා මාධ්‍යයන්හි සදහන්.

ආසියානු කුසලානය ලබන බදාදා ආරම්භ වුවද ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. තරගාවලියට එක්වන කණ්ඩායම් 4ක් මේ වනවිට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.