Saturday, January 11, 2025

General line - 0115112241

සුපිරි සිව් දෙනාගේ වටයට එන්නේ ශ්‍රී ලංකාවද? ඇෆ්ගනිස්ථානයද? - තීරණය අද




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා.

ඒ, ඇෆ්ගනිස්තානය සමඟයි. 

මෙම තරඟය පැවැත්වෙන්නේ පකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදීයි. 

අද පැවැත්වෙන තරඟයේ ජය දෙපිලටම වැදගත් වනවා. 

ඒ මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන බැවින්.  

අද තරඟය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 4 වටයට පිවිසෙනවා. 

එහෙත් ඇෆ්ගනිස්තානයේ තත්ත්වය ඊට තරමක් වෙනස්. 

ඒ අනුව ඇෆ්ගනිස්තානය මෙම තරඟය ජය ගත යුතු අතර එය දැවැන්ත ජයක් වීමද අනිවාර්යයි. 

එහිදී ඇෆ්ගනිස්තානය තරඟයේ මුලින් පහර දී ලකුණු 275 ක් රැස් කර ලකුණු 68කින් තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවනවා. 

යම් හෙයකින් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දී ලකුණු 275ක් රැස් කලහොත්, ඇෆ්ගනිස්තානය එම ඉලක්කය පන්දුවාර 35කින් සම්පූර්ණ කලහොත් ඇෆ්ගනිස්තානයට සුපිරි කණ්ඩායම් 4 වටයට පිවිසිය හැකියී. 

ඒ අනුව මෙම තරඟයේ ප්‍රතිපලය කණ්ඩායම් දෙකටම වැදගත්.
 

මේ අතර, අද තරගය පැවැත්වෙන ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. 

ලාහෝරයේදී තරඟ වැදුනු තරග 13න් 9ක්ම දිනා ඇත්තේ ශ්‍රී ලංකාවයි. 

එහි ජයග්‍රාහී ප්‍රතිශතය 69.23% ක්. 

එමෙන්ම අවසන් වරට සහභාගී වූ එක්දින තරඟ 11ම ජය ගෙන සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල ඉහල මානසිකත්වයකින් ද පසුවනවා. 

යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරඟය ජයගතහොත් එය ඔවුන් අඛණ්ඩව ලබන 12වන ජයග්‍රහණය වනවා. 

එමෙන්ම, ශ්‍රී ලංකාව අඛණ්ඩව වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවක් ජය ගත් අවස්ථාව ද එය වනු ඇති. 

මීට පෙර එක්දින තරග 12ක් අඛණ්ඩව ජය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා පකිස්තානය පමණයි. 

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මෙම තීරණාත්මක තරඟය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. 

කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුවන බවට වාර්තා පල වුවද එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ. 

මෙම තීරණාත්මක තරඟයේ උණුසුම් තොරතුරු නෙත් ස්පෝට්ස්මන් ෆේස්බුක් පිටුවට පිවිස නැරඹිය හැකියි.