Friday, January 10, 2025

General line - 0115112241

වැස්සට සේදුනු ඉන්දු - පකිස්තාන තරගය අද




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපර් ෆෝ වටයේ ඉන්දු පකිස්තාන තරඟය අද යලි පැවැත්වෙනවා. 

ඒ, ඊයේ පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්. 

මෙම තරඟය වෙනුවෙන් අතිරේක දිනයක් ලබාදී ඇති බැවිනුයි අද යලි තරගය පැවැත්වෙන්නේ. 

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. 

කෙසේ වෙතත් අද තරඟය ආරම්භ වන්නේ ඊයේ අවසන් වූ තැන සිටයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්තානය පළමුව තීරණය කලේ පන්දු යැවීමටයි. 

තරඟයේ 25 වන පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. 

ඒවනවිට තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව පන්දුවාර 24 යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් රැස් කරගෙන සිටියා. 

තරඟය ආරම්භ කිරීම පිළිබඳ අවසන් සාකච්ඡාව රාත්‍රී 08යි 20ට පැවති අතර එහිදී විනිසුරුවන් පැවසුවේ පන්දුවාර 34ක තරගයක් ලෙස රාත්‍රී 09 සිට තරඟය යලි ආරම්භ කලහැකි වනු ඇති බවයි. 

එහෙත් රාත්‍රි 08යි 30ට වර්ෂාව ඇද හැලීමත් සමඟ තරඟය නතර කිරීමට සිදුවුණා. 

ඒ අනුව ඊයේ දින තරගය නතර කල, එනම් පන්දුවාර 24යි එක් පන්දුවක සිට යලි තරඟය ඇරඹෙනු ඇති. 
 

කෙසේ වෙතත් අද දිනයේ කාලගුණ වාර්තා ද ඊයේ දිනයට සමාන බවටයි වාර්තා වන්නේ. 

යම් හෙයකින් අද දිනයේද තරඟය පැවැත්වීමට නොහැකි වුවහොත් දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමට නියමිතයි. 

මෙම තරඟාවලියේ මූලික වටයේ දෙපිල අතර පැවති තරඟය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

 ඒ හේතුවෙනුයි මෙම තරගයට අතිරේක දිනයක්ද ලබා දී ඇත්තේ. 

අවසන් මහා තරගයක හැර අතිරේක දිනයක් ලබා දුන් එකම තරඟය මෙයයි.