Friday, January 10, 2025

General line - 0115112241

කුසල්ගෙන් සහ සධීරගෙන් ශතක දෙකක් - පකිස්තානයට ලකුණු 345 ක ඉලක්කයක්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය දැන් පැවැත්වෙනවා.

ඒ, හයිද්‍රාබාද් නුවරදීයී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 344ක් රැස් කර ගත්තා.

පලමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියා. පසුව පිටියේ එක්වූ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේ දෙවන කඩුල්ලට ලකුණු 102ක සබදතාවක් ගොඩනගමින්.

පැතුම් ලකුණු 51කට දැවී ගියා. 

යලි පිටියේ සිය අණසක පැතිරවූ කුසල් මෙන්ඩිස් පකිස්ථාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කලේ පන්දු වාරයකට ලකුණු 6ත් 7 ත් අතර දල ලකුණු වේගයක් රදවා ගනිමින්.

කුසල් සිය ශතකය වාර්තා කලේ පන්දු 65කින්. ඊට හයේ පහර 4ක් හා හතරේ පහර 13ක් ඇතුලත් වුණා.

එය වාර්තා පොත් අතරට එක්වුණේ ලෝක කුසලාන එක්දින පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසයි.

කුසල් දැවී යන විට පන්දු 77කින් ලකුණු 122ක් රැස්කරගෙන සිටියේ හයේ පහර 6ක් හා හතරේ පහර 14ක් සමගයි.

කුසල් අද රැස් කලේ සිය තුන්වන එක්දින ශතකයයි. ඔහුට අනගි සහයක් ලබා දුන් සධීර සමරවික්‍රම පන්දු 86කදී ලකුණු 108ක් රැස්කලා.

එය සධීරගේ මංගල එක්දින ශතකයයි.

ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් හා හතරේ පහර 11ක් ඇතුලත් වුණා. 

පකිස්ථාන ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වන හැරිස් රවුෆ් යැවූ තරගයේ 21 වන පන්දුවාරයේදී කුසල් හා සධීර ලකුණු 21ක් රැස්කර ගත්තා.

එය සැලකුණු හැරිස් රවුෆ්ගේ පන්දු වාරයකදී කිසියම් කණ්ඩායමක් එක්දින තරගයක රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

කුසල් හා සදීර පන්දුවට පහර දෙන විට විචාරකයින් පැවසුවේ ශ්‍රී ලංකාව මෙම තරගයේදී ලකුණු 400හේ සීමාව ආසන්නයට යනු ඇති බවටයි.

කෙසේ වෙතත් කුසල් දැවී යාමෙන් පසු පිටියට පිවිසි චරිත් අසලංක දැවී ගියේ එක් ලකුණකටයි. පසුව පිටියේ එක්වූ සදීර හා ධනංජය 5 වන කඩුල්ලට ලකුණු 65ක සබදතාවක් ගොඩනැගූ අතර ධනංජය ලකුණු 25කට දැවී ගියා.

නායක දසුන් ශානක රැස් කලේ ලකුණු 12ක් පමණයි.

හසන් අලී ලකුණු 71කට කඩුලු 4ක් බිද හෙලුවා.

මේ අතර ලකුණු 345 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිස සිටින පකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13 ක් අවසානයේදී  කඩුලු  දේකක් දැවී  ලකුණු 61 ක් ලබා සිටියා.