Friday, January 10, 2025

General line - 0115112241

මන්ත්‍රී ධුරයක් දෙන්න කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 50ක් ගත්තාද? පක්ෂ දෙකකින් ප්‍රතිචාර




ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බව පවසා කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාගෙන ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂයේ ප්‍රබල දේශපාලන පක්ෂ දෙකක් පවසනවා.  

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට එම කෝටිපති ව්‍යාපාරිකයාගෙන් එම මුදල ලබා ගෙන ඇති බවයි. 

මෙම මන්ත්‍රී ධුරය ලබා නොදුන් බවට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වුණා. 

එමෙන්ම තමන් ලබා දුන් රුපියල් කෝටි 50ක මුදල යළි ලබාදෙන ලෙසටද එම ව්‍යාපාරිකයා ඉල්ලා ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බව පවසා සිය පක්ෂය මුදල් ලබාගෙන නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද කළ විමසීමකදී එහි පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පැවසුවේ එල්ල වන චෝදනා සිය පක්ෂයද ප්‍රතික්ෂේප කරන බවයි.