Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයට වාර්තාගත ජයක්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන්  පාකිස්ථානය විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

ඒ, ලකුණු 345ක ඉලක්කයක් සාර්ථකව හඹා යමින්.

එය වාර්තා පොත් අතරට එක් වුණේ ලෝක කුසලාන තරඟයක පකිස්ථාන කණ්ඩායමක් හඹාගෙන ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ පකිස්ථානයට එරෙහිව  ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වූ 8 වන තරඟය මෙය වීමද විශේෂත්වයක්.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 09ක් දැවී ලකුණු 344ක් රැස් කර ගත්තා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් රැස් කළා. පන්දු 65කින් සිය ශතකය සම්පූර්ණ කළ කුසල් වාර්තා පොත් අතරට එක්වුණේ ලෝක කුසලාන එක්දින පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කල වේගවත්ම ශතකය ලෙසයි.

සධීර සමරවික්‍රම පන්දු 89කදී ලකුණු 108ක් රැස්කළා.

එය වාර්තා පොත් අතරට එක්වුණේ එක්දින ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කල වේගවත්ම 05වන ශතකය ලෙසයි.

පකිස්ථාන ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වන හැරිස් රවුෆ් යැවූ පන්දුවාරයකට කුසල් හා සධීර ලකුණු 21ක් රැස්කර ගත් අතර එය සැලකුනේ හැරිස් රවුෆ්ගේ පන්දු වාරයකදී කිසියම් කණ්ඩායමක් එක්දින තරඟයක රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 48යි පන්දු 02කදී කඬුලු  04ක් දැවී ලකුණු 345ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.

ආරම්භක පිතිකරු අබ්දුල්ලා සෆීක් ලකුණු 113 ක් රැස් කළා.

එය වාර්තා පොත් අතරට එක්වූයේ පාකිස්ථාන පිතිකරුවෙකු සිය මංගල ලෝක කුසලාන එක්දින තරඟයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඔහුට අනගි සහයක් ලබාදෙමින් විශිෂ්ඨ ඉනිමක් දියත් කළ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 131ක් රැස් කළා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක ලකුණු 60කට කඩුලු 02ක් බිඳ හෙලුවා. 

මේ අතර, බංග්ලාදේශය සමඟ පැවති තරඟය ලකුණු 137කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.