Friday, January 10, 2025

General line - 0115112241

ආබාධ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අලුත් අභියෝගයක්




ක්‍රීඩකයින් ආබාධ වීම හේතුවෙන් ලෝක කුසලාන එක්දින තරගවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් එල්ල වී තිබෙනවා.

නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තරගාවලියෙන්ම ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කලේ දසුන්ට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට ඔස්ටේ්‍රලියාව සමඟ හෙට පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා පල වුවද ඔහු හෙට තරගයට එක් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් පල වී නැහැ.

ඒ අනුව හෙට තරගයේදී චාමික කරුණාරත්න, දසුන් ශානකගේ ස්ථානයටත් ලහිරු කුමාර මතීෂ පතිරණගේ ස්ථානයටත් කැදවීමට නියමිතයි. 

යම් හෙයකින් කුසල් ජනිත් පෙරේරා ට ද හෙට තරගය අහිමි වුව හොත් දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙස එක්වනු ඇති.

ලෝක කුසලන තරගාවලියට පෙර සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම හේතුවෙන් දැඩි අභියෝගයක් මතු වුණා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කලේද අවසන් මොහොතේයි.

වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ, දිල්ෂාන් මදුෂංක, ලහිරු කුමාර, කුසල් ජනිත් පෙරේරා එලෙස ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය හා එංගලන්තය අතරයි.