Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ පෙරලියක් - ලෝක ශූර එංගලන්තය, ඇෆ්ගනිස්ථායට පරදියි




මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දැවැන්ත පෙරලිය සිදු කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා

ඒ, ප්‍රබල එංගලන්තය ලකුණු 69කින් පරාජය කරමින්.

එය ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ටම හා පළමු ජයග්‍රහනය ලෙසටයි සැලකෙන්නේ.

එමෙන්ම ඕනෑම තරග රටාවකදී ඇෆ්ගනිස්ථානය විසින් එංගලන්තය පරාජය කල පළමු අවස්ථාවද මෙය වනවා.

එංගලන්තය යනු මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වැඩි ඉඩක් ඇති රටක් ලෙසයි විචාරකයින් අනුමාන කර තිබුණේ.

එවන් කණ්ඩායමක් මෙලෙස අනපේක්ෂිත පරාජයකට පත්වීමෙන් ලෝක කුසලානය උඩු යටිකුරුවන ලකුණු දැන් පල වෙමින් තිබෙන බවයි විචාරකයින් පවසන්නේ.

මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලි හිදී.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිසථානය පන්දුවාර 49යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස් කලා.

දක්ෂ පිතිහරඹයක නිරත වූ රහමනුල්ලා ගුරුබාස් ලකුණු 80ක් හා ඉක්‍රම් අලිකිල් ලකුණු 58ක් රැස් කිරීමට සමත්වුණා.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 14ක් තුල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 104ක් රැස් කර ගත්තද මැද පෙල කඩුලු බිද වැටීමත් සමග ඔවුන්ට ලකුණු 300 සීමාව පසුකර යාමට හැකිවුණේ නැහැ.

පන්දු යැවීමේදී අඩිල් රෂීඩ් ලකුණු 42කට කඩුලු 03යි. එය එක්දින ලෝක කුසලානයක රෂීඩ්ගේ හොදම පන්දු යැවීමයි.

ලකුණු 285ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි එංගලන්තයට පන්දුවාර 40යි පන්දු 03ක් තුල සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 215ක් පමණයි.

තරගයේ මුල සිටම සිය ග්‍රහණය දියත් කල ඇෆ්ගන් පන්දු යවන්නන් එංගලන්තයට ජයග්‍රාහි බලාපොරොත්තුවක් හෝ ඇති කිරීමට ඉඩ දුන්නේ නෑ.

හැරී බෘක් ලකුණු 66ක් රැස් කල අතර ඩේවිඩ් මලාන් ලකුණු 32යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇෆ්ගනිස්ථානයේ මුජීබ් උර් රෙහෙමාන් ලකුණු 51කට කඩුලු 03ක් බිද හෙලුවා.

රෂීඩ් ඛාන් ලකුණු 37කට කඩුලු 03යි.

මොහොමඩ් නබී ලකුණු 16කට කඩුලු 02ක් බිද හෙලුවා.

මෙය ඇෆ්ගනිස්ථානය මෙවර ලැබූ පළමු ජය වන අතර එංගලන්තය ලැබූ දෙවන පරාජයයි.

මේ අතර, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාවේ ලක්නව් හිදී.