Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ තවත් පෙරලියක් - දකුණු අප්‍රිකාව පරදා නෙදර්ලන්තයට විශිෂ්ඨ ජයක්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරලියක් ඊයේ රාත්‍රියේ සිදු වුණා.

ඒ, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර තරඟයේදීයී.

ධරම්සාලාහිදී පැවති මෙම තරගයෙන් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 43කට සීමා කෙරුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 43 නිමාවන විට කඩුලු 08ක් දැවි ලකුණු 245ක් රැස් කලා.

නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 07ක් ලකුණු 140කට බිද වැටුණද 08 වන හා 09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සාර්ථක සබදතා හේතුවෙන් ඔවුන්ට අභියෝගාත්මක ලකුණු පුවරුවකට යාමට හැකිවුණා.

අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ස්කොට් එඩ්වඩ් නොදැවී ලකුණු 78යි.

පන්දු යැවීමේදී ලුන්ගි න්ගිඩි, මාර්කෝ ජෙන්සන් හා කගිසෝ රබාඩා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. 

ප්‍රබල පිතිකරණ ලැස්තුවක් හිමි දකුණු අප්‍රිකාව ලකුණු 245ක ඉලක්කය පහසුවෙන් හඹා යනු ඇතැයි විචාරකයින් මත පල කර තිබුණේ ජයග්‍රාහී සම්භාවිතාව දකුණු අප්‍රිකාවට සියයට 80කටත් වඩා වැඩියෙන් පවතින බවද පෙන්වා දෙමින්.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් අඩු වුවද තරගයේ මුල සිටම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට නෙදර්ලන්තය සමත් වුණා.

විටෙක දකුණු අප්‍රිකානු පිලේ ප්‍රබල කඩුලු 5ක් බිද වැටී තිබුණේ ලකුණු 89ක් තුලයි.

ලබා දුන් උඩ පන්දුවක් අතහැරීම වාසිය කර ගත් ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකාවට යම් බලාපොරොත්තුවක් ගෙන ආවේ ලකුණු 43ක් රැස් කරමින්.

ඔහුගේ කඩුල්ල දැවී යාමෙන් පසු දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 207 කට සීමා වූයේ නෙදර්ලන්තයට ලකුණු 38 ක ඓතිහාසික ජයක් හිමිකර දෙමින්. 
නෙදර්ලන්තය මෙලෙස ලැබූ ජය වාර්තා පොත් අතරටද ගොස් තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් දිනූ රටකට එරෙහිව නෙදර්ලන්තය ලැබූ පළමු ජය මෙයයි.

එමෙන්ම, එය සැලකුණේ නෙදර්ලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ තුන්වන ජයග්‍රහණය ලෙසටයි.

මීට පෙර ඔවුන් ලෝක කුසලාන බිමේදී පරාජය කර තිබුණේ ටෙස්ට් වරම් දිනා නොගත් කණ්ඩායම් පමණයි.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය විසින් ජාත්‍යන්තර පිටියේදී දකුණු අප්‍රිකාව දෙවරක් පරාජය කිරීමට සමත් වී තිබෙනවා.

ඔවුන් ගියවර පන්දුවාර 20 ලෝක කුසලානයේදීද දකුණු අප්‍රිකාව පරාජය කලා.

මෙම ජයග්‍රශණයත් සමග ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමන අවධානමකට ඇද වැටී තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ඇද වැටෙමින්.

මේ දක්වා ලෝක කුසලාන බිමේ කිසිදු ජයග්‍රහණයක් ලබා ගෙන නොමැති එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.