Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ තවත් පෙරලියක් - ඇෆ්ගනිස්ථානය හමුවේ පරාද වූ පකිස්ථානය අවදානමකට වැටෙයි




මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් පෙරලියක් ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 04 අතරට තේරි පත්වනු ඇති බවට මත පල කර සිටි පකිස්ථානය තීරණාත්මක තරගයකින් පරාජයට පත් වීමටයි. මෙම පෙරලිය සිදු කලේ ඇෆ්ගනිස්ථානයයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් රැස් කලා.

නායක බාබර් අසාම් ලකුණු 74යි. අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58ක් රැස් කලා.

පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 03ක් බිද හෙලුවා.

ලකුණු 283ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය මෙම ඓතිහාසික ජය වාර්තා කලේ පන්දුවාර 49කදී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථානයට බලාපොරොත්තුවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 65ක් හා ඊබ්‍රහිම් සර්දාන් ලකුණු 85ක් රැස් කලා.

ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 130ක්. ගුර්බාස් හා සර්දාන් මෙම වසරේදී පමණක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 100කට වඩා වැඩි සබදතාවක් ගොඩ නැගූ 04වන අවස්ථාව මෙයයි.

මෙම වසරේ එවැනි දස්කමක් දක්වා ඇත්තේ ඉන්දීය නායක රෝහිත් ෂර්මා හා ශුබ්මන් ගිල් පමණයි. 

ඔවුන්ගේ කඩුලු බිද වැටුණද මෙම ඓතිහාසික අවස්ථාව මග නොහැරි රහ්මත් ෂා නොදැවී ලකුණු 77ක් රැස් කලා.

ඔහුට අනගි සහයක් ලබා දුන් නායක හස්මතුල්ලා ෂහීදි නොදැවී ලකුණු 48යි. 

ඇෆ්ගනිස්ථාය ලැබූ මෙම ජයග්‍රහණය වාර්තා පොත්ද අලුත් කර තිබෙනවා.

මෙම ජය සැලකුණේ ඇෆ්ගනිස්ථාය, පකිස්ථානයට එරෙහිව ලැබූ පළමු එක්දින ජයග්‍රහණය ලෙසටයි.

මීට පෙර මුණ ගැසුණු අවස්ථා 07දීම ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හමුවේ පරාජය වී තිබුණා.

එමෙන්ම එක්දින ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානය හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනද උඩුයටිකුරු වී තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්ථානයටද ලෝක කුසලානයේ ඉදිරිය පිළිබද දැන් බලාපොරොත්තු තබා ගත හැකියි.

එහෙත් පකිස්ථාන කණ්ඩායම දැන් සිටින්නේ ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරිය පිළිබද දැඩි අවධානමකයි.

මෙම කණ්ඩායම් දෙකටම ලෝක කුසලානයේ සුපිරි වටයට පිවිසීමට නම් ඉතිරි තරග 04ම ජය ගැනීම වැදගත්.

එහෙත් ඇෆ්ගනිස්ථානයට සාපේක්ෂව පකිස්ථානයට එම ඉලක්කය අපහසු වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. 

ඇෆ්ගනිස්ථානයේ මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ නවවන ස්ථානයට ඇද වැටී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවටද ඉතිරි තරඟ පහේ ජය පරාජය අතිශය තීරණාත්මක වී තිබෙනවා.