Thursday, January 9, 2025

General line - 0115112241

IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 08ක් - දිල්ෂාන් මදුෂංක හා නුවන් තුෂාරත් ඒ අතර




ලොව වැඩිම අවධානය දිනු හා වැඩිම මුදලක් සංසරණය වන ලීග් ක්‍රිකට් තරගාවලිය වන IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 08 දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර එම ක්‍රීඩකයින් 08 දෙනා වනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි එක හමාරයි.

මෙම මූලික ලංසු සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.

එය මෙම වෙන්දේසියේදී ක්‍රීඩකයෙකු නම් කර ඇති ඉහලම දෙවන වැඩිම මූලික ලංසු කාණ්ඩයයි.

සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික ලංසු කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම කාණ්ඩයට ඇතුලත් වන්නේ කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාරයි.

මීට අමතරව මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායම තුල තවදුරටත් රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කලා.


IPL ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් ඊයේ ඉදිරිපත් කලා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,166 දෙනෙකු නම් කර තිබූ අතර අවසන් වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩකයින් 333ක් පමණයි.

ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින්.

වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 119ක්.

වැඩිම පිරිසක් එක්වන්නේ ඔස්ටේ්‍රලියාවෙන්.

එම සංඛ්‍යාව 22ක්.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 18 දෙනෙකු ද වෙන්දේසියට ඇතුලත්.

IPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වනදා පැවැත්වෙනවා.