Thursday, January 9, 2025

General line - 0115112241

ක්‍රිකට් හදන්න ජයසූරියට අවුරුද්දක දැවැන්ත වගකීමක්.




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට තීරණය කර ඇති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය හට වසරක කාලයක වගකීමක් පවරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ වහාම ක්‍රියාත්මක පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා එම තනතුරට පත් කළ බවයි.

ඒ අනුව, සියලුම ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලයද නිරීක්ෂණය කිරීම ඔහු යටතේ සිදු වනු ඇති. 

සනත් ජයසූරියට පැවරෙන ප්‍රධාන වගකිමක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සමග සෘජුවම කටයුතු කිරීමයි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනයට සහ විශ්ලේෂණයට ලක්කර පැහැදිලි හා ඵලදායී සංවර්ධන සැලැස්මක් සකර කිරීමද ඔහුට පැවරෙන තවත් ප්‍රධාන කාර්යයක්.

එමෙන්ම, ශ්‍රී ලංකා ජාතික පිල මෙන්ම සෙසු කණිෂ්ඨ කණ්ඩායම්වල ඵලදායී වර්ධනයක් ඇතිකිරීම උදෙසා වන සැලැස්මක් දියත් කිරීමද සනත් ජයසූරියට පැවරෙන තවත් ප්‍රධාන අභියෝගයක් වනවා. 

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකුද වන මහේල ජයවර්ධනද 2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කළා.

ඔහුට අමතරව සනත් ජයසූරියද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවටයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගිය සමයේ වාරතා වූයේ එතරම් සුබවාදී ප්‍රවෘත්ති නොවේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ලද අමිහිරි පරාජය ඒ අතරින් ප්‍රධානයි.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ සහභාගීවු තරග 9න් තරග 7ක් පමණයි.

එමෙන්ම, ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට පවා නොහැකි වුණා.

මේවනවිට ඩුබායි හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමටයි ශ්‍රී ලංකාවට සිදුවුණේ. 

එවන් පසුබිමක ඉකුත් දා වසර දෙකක කාලයක් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් අලුත්ම පියවර ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කිරීම සිදුව ඇත්තේ.