Thursday, January 9, 2025

General line - 0115112241

වැඩිම සල්ලි හෙල්ලෙන IPL තරගාවලියටත් ඉන්දීය මැතිවරණය හරස් වෙයි.




ලොව වැඩිම මුදල් ප්‍රමාණයක් සංසරණය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඉන්දීය මහ මැතිවරණය හරස් වී තිබෙනවා. 

ඒ අනුව IPL  2024 තරගාවලිය මාර්තු මස 22 සහ මැයි මස අවසානය අතර කාලයේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එහිදී ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීම් දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු IPL 2024 අවසාන කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

IPL 2024 ක්‍රීඩක වෙන්දේසිය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ ඩුබායි හිදීයී.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් වන අතර ඉන්දීය ක්‍රීඩකයින් 214ක් හා විදෙස් ක්‍රීඩකයින් 119ක් ඒ සඳහා එක්වනවා.

ලොව වැඩිම අවධානය දිනු හා වැඩිම මුදලක් සංසරණය වන ලීග් ක්‍රිකට් තරගාවලිය වන IPL  ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 08 දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර එම ක්‍රීඩකයින් 08 දෙනායි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි එක හමාරයි.

මෙම මූලික ලංසු සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි. 

එය මෙම වෙන්දේසියේදී ක්‍රීඩකයෙකු නම් කර ඇති ඉහලම දෙවන වැඩිම මූලික ලංසු කාණ්ඩයයි.

සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික ලංසු කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම කාණ්ඩයට ඇතුලත් වන්නේ කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාරයි.

මීට අමතරව මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායම තුල තවදුරටත් රඳවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කලා.