Tuesday, December 24, 2024

General line - 0115112241

තැලීසීමියා රෝගීන් ගේ  සත්කාරක කටයුතු සඳහා  ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි




තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළෙලක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.

තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩි අයන ඉවත් කිරීම සඳහා වන ඖෂධ ලබාදීම සිදු කරනු ලබයි. 

වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් ප්‍රථම වරට 2011 වසරේදී පර්යේෂණාත්මකව නිෂ්පාදනය කෙරුණු අතර, මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 3166 ක පමණ ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් වෙත අධියර කිහිපයක් යටතේ ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන්  සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නාවික හමුදාව වෙත උපහාර පිරිනැමීම මෙලෙස  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

එමෙන්ම, මෙම  අවස්ථාවට සමගාමීව නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපන පද්ධති 375 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීම සහ  තැලසීමියා රෝගයෙන් පෙලෙන රෝගීන් පස් දෙනෙකු (05) වෙත තැලසීමියා නික්ෂේපන පද්ධති සංකේතාත්මකව භාරදීමද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයාගේ  සහ නාවික හමුදාධිපතිගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.