Tuesday, November 19, 2024

General line - 0115112241

පොලිස් පරිපාලන රාජකාරි ලලිත් පතිනායකට පැවරේ




ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යේෂ්ඨතා ලේඛනයේ ප්‍රමුඛතාව අනුව එම පත් කිරීම සිදු කළ බවයි ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනය කළේ. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට ඉකුත් මස 18 වනදා රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කළා.

ඒ අනුව අදාළ තනතුරේ රාජකාරි කිරීමට සුදුසු නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කළද ජුලි මස 29 වනදා දක්වා ඒ සඳහා පොලිස්පතිවරයාගේ නිර්දේශ නොලැබුණු බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව නීතිපතිවරයාගෙන් විමසීමෙන් අනතුරුව පොලිස්පති නිලයේ කටයුතු කිරීම සඳහා නිලධාරියෙකු නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (උ) 1 (අ) වගන්ති අනුව පොලිස්පති විමසා කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව පෙන්වා දී ඇතැයිද ජාතික පොලිස් කොමිසම සඳහන් කළා. 

ඉහත කරුණු සැලකිල්ලට ගෙන නැවත දැනුම්දෙන තුරු මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම තනතුරට අමතරව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩ බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කළ බවයි ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.