Tuesday, November 19, 2024

General line - 0115112241

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරෙයි

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ඒ, මෙම නඩුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා දින ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් දිසා විනිසුරුවරයා නඩුවට අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් මස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කළ අතර, මේ වන විටත් නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන බවත් නියෝග කළා.

මෙම නඩුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නොමැති බවයි පැමිණිලිකාර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය පැමිණිල්ලෙන් කියා සිටියේ. 

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට එම ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.