Tuesday, December 24, 2024

General line - 0115112241

වසර 27කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට අද අවස්ථාවක්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

සවස 02යි 30ට තරඟය ආරම්භ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 

දෙරට අතර පැවති පළමු තරඟය ලකුණු සම වීමෙන් අවසන් වුණා.

දෙවන තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකාව අද තරඟය ජය ගතහොත් තරඟාවලියම ජය ගැනීමට අවස්ථාවක් උදා වනවා.

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලියක් ජය ගැනීමට අවස්ථාව උදා වන්නේ වසර 27කට පසු පළමුවරට වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ 1997 වසරේයි. 2007 වසරේ සිට 2023 වසර දක්වා දෙරට අතර එක්දින තරඟාවලි 10ක් පවත්වා ඇති අතර එම සියලු තරඟාවලි ජය ගත්තේ ඉන්දියාවයි. 

යම් හෙයකින් අද තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ජය ගතහොත් තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වනවා.

එලෙස දෙරට අතර එක්දින තරඟාවලියක් ජය පරාජයකින් තොරව අවසන් වන්නේ 2006 වසරෙන් පසු එනම්, වසර 18කට පසු පළමු වරටයි.  

මේ අතර ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනෙකු වන විරාත් කෝලි සහ රෝහිත් ශර්මා අවසන් වරට එක්දින තරඟයකදී ශ්‍රී ලංකාවේදී දැකගත හැකි අවසන් අවස්ථාවද මෙය වනු ඇති.