Tuesday, December 24, 2024

General line - 0115112241

වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ක්‍රිකට් ජයක්




ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම වන ඉන්දියාව පරාජය කර තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයද ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 කට ලකුණු 248ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96යි. කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් හා පැතුම් නිස්සංක ලකුණු 45ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දු වාර 26යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 138කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

 විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 05යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 27කට කඩුලු 05ක් බිඳ හෙළුවා.

එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමයි. මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

අවසන් තරඟයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවූ අතර තරඟාවලියේ වීරයා සම්මානය හිමි වූයේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටයි. 

මෙම තරඟය ජය ගැනීමත් සමග තරඟාවලියම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

ඒ දෙකට බින්දුවක් ලෙසයි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලියක් ජය ගත්තේ වසර 27කට පසු පළමුවරට වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ 1997 වසරේයි.

2007 වසරේ සිට 2023 වසර දක්වා දෙරට අතර එක්දින තරඟාවලි 10ක් පවත්වා ඇති අතර එම සියලු තරඟාවලි අඛණ්ඩව ජය ගෙන තිබුණේ ඉන්දියාවයි.