2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
ඒ, එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමා හේවා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින්.
ඒ අනුව ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පූලි, ශිරාන් ගුණරත්න, එස්. තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2012 වසරේ නොවැම්බර් මස 9 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් පිරිසක් මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමා හේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.
එම චෝදනා විභාග කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එහි විත්තිකරුවකු වශයෙන් නම්කර තිබූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.
සෙසු විත්තිකරු ලෙස නම් සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.
පසුව තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා විත්තිකාර ළමාහේවා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණා.