Monday, November 18, 2024

General line - 0115112241

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශය බල රහිත කෙරේ

උදය කුමාර




පසුගිය රජය සමයේ පත් කරනු ලැබූ දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම විසින් පිරිසකට ලබා දුන් නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ආනන්ද විජේපාල, ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බවට තීන්දුවක් ලබාදෙන පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වග උත්තරකාර කොමිසමේ සාමාජිකයින් විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ වලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා.

ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බවට තීන්දු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියා.

ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 150,000ක් බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කළා.