Monday, December 23, 2024

General line - 0115112241

හිඟ බදු  නොගෙවන සුරාබදු නිෂ්පාදන බලපත්‍ර වහාම අහෝසි කරන්නැයි උපදෙස්   




2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උ‍පදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබෙන්නේ මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගිය හත්වනදා  පාර්ලිමේන්තුවේදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.

පසුගිය ජූනි 30 වන විට 2023 වසරේ හිඟබදු අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට මීට පෙර නිර්දේශයක් ලබාදී තිබුනද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් නොලැබුණ බැවින් අදාළ නිර්දේශය ක්‍රියාත්මක නොකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කාරක සභාව ඉදිරියේ පවසා තිබුනා.

තවද 2023 දෙසැම්බර් වන විට රු බිලියන 1.1ක්ව පැවති හිඟබදුවලින් රු. මිලියන 729ක් එකතු කර ඇති බවත්  සුරාබදු කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියා 

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් කාරක සභාව පෙන්වා දුන්නේ දැනට රු. බිලියන 7.9 ක්ව පවතින සමස්ත හිඟ බදු මුදල් කඩිනමින් එක්රැස්කිරීමට කටයුතු කරන ලෙසයි.  

මෙම රු.බිලියන 7.9 න් රු. බිලියන 5ක්ම ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගමේ හිඟ බදු බවද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය. 

මත්පැන් නිෂ්පාදන ආයතන 25ක ප්‍රමාණයකින් ආයතන එකක් හෝ දෙකක් මෙලෙස බදු පැහැර හැරීම සිදුකරන බවත් ඔවුන්ට දිගින් දිගටම සහන ලබා දීම බදු ගෙවන අනෙක් ආයතනවලටත් සිදුකරන අසාධාරණයක් බවත් කාරක සභා සභාපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

තවද වංචා වැළැක්වීම පිණිස සහ නියමිත පරිදි බදු එකතු කිරීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවද  කාරක සභාවෙදී අවධානයට ලක්විය.