සිය කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ විසින් නීතිපතිවරයා ඇතුළු ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා.
ඒ, ඉකුත් යහපාලන රජය සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන්.
නීතිඥ දිනේෂ් සිල්වා මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සම තුළින් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ කියා සිටින්නේ 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවති සම්මන්ත්රණවලට සහභාගි වීම සඳහා ඩුබායි බලා පිටත්ව යාම සඳහා තමන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවයි.
පසුව විදේශගතවීම සඳහා තමා රාජතාන්ත්රික විදේශ ගමන් බලපත්රය ඉදිරිපත් කළ අතර එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්රිය ගුවන් බලපත්රයක් බව ප්රකාශය කළ බවත් පැමිණිලිකරු සඳහන් කළා.
ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් මන්ත්රීවරයා කියා සිටියා.
මීට අදාලව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුව වසර 09 කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් අනතුරුව තමන්ව සියලු චෝදනාවලින් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ බවයි මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ.
සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තුළින් තම කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 1,000ක වන්දියක් ලබාදෙන දෙන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබෙනවා.