ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව සඳහන් කරමින් මැතිවරණ නියාමන තොරතුරු ඇතුළත් ගැසට් නිවේදනයක් අද දිනයේදී හෝ හෙට දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර මේ වනවිටත් අවසන් තීරණයක් ගෙන ඇති බවයි.
මේ අතර අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මැතිවරණ කොමිසන් සභාව වෙත පසුගියදා කැඳවා කරුණු විමසීමක් ද සිදු කර තිබුණා.
එම සාකච්ඡාවේදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් එම අපේක්ෂකයින් ඉදිරිපත් කළ අගයන් එකිනෙකට වෙනස් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡා කර අවසන් තීරණය ගැසට් පත්රයක් මඟින් නිවේදනය කිරීමටයි තීරණය කර ඇත්තේ.