Tuesday, December 24, 2024

General line - 0115112241

 පකිස්තානය පැරදූ බංග්ලාදේශ කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක්




සත්කාරක පකිස්තානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, පකිස්තානු කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස් කරමින් පකිස්තානු ඉණිම අත්හිටුවනු ලැබුවා.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 565ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් වුණා.

පකිස්තානු කණ්ඩායම සිය දෙවන ඉණිම ආරම්භ කරනු ලැබුවේ බංග්ලාදේශ පළමු ඉණිමට වඩා ලකුණු 117ක් පිටුපසින් සිටිමින්.

ඒ අනුව පකිස්තානු කණ්ඩායමට සිය දෙවෙනි ඉණිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 146ක් පමණයි.

පළමු ඉණිමේ ලකුණු 117ක වාසියක් බංග්ලාදේශ කණ්ඩායමට හිමි වීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා දෙවන ඉණිමේදී හිමි වූ ඉලක්කය ලකුණු 29ක්.

එම ඉලක්කය බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුකර යමින් වසර 23කට පසු පකිස්තානු කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ඓතිහාසික ජයක් හිමිකර ගත්තා.

මීට පෙර දෙරට අතර ටෙස්ට් තරග 13ක් පවත්වා තිබෙනවා.

ඉන් එක් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් වී ඇති අතර අනෙක් තරග 12ම පකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.