Tuesday, December 24, 2024

General line - 0115112241

ක්‍රිකට් මහගෙදර ලොකුම පුටුවත් ඉන්දියාවට




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා එම තනතුරට තේරී පත්ව ඇත්තේ නිතරඟයෙන්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති වරයා ලෙස කටයුතු කරන්නේ ක්‍රෙග් බාර්ක්ලේ තුන්වන වරටත් එම තනතුර සඳහා තරඟ නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි නව සභාපතිවරයෙකු තෝරා ගැනීමට කටයුතු කෙරුණේ.

ඒ අනුව අගෝස්තු 27 වනදා දක්වා නාම යෝජනා කැඳවූ නමුත් ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ ඉන්දියාවේ ජේ ෂා පමණයි. 

අදාළ තනතුරට තේරී පත් වූ වයස අවුරුදු 35ක් වන ඉන්දියාවේ ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙසටයි සැලකෙන්නේ.

සභාපති ධූරය සඳහා මේ දක්වා පත් වූ පුද්ගලයන් 04 දෙනාගෙන් 03 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් වනවා.

ජේ ෂා ලබන දෙසැම්බර් 01 වනදා සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයේ කටයුතු කිරීමට නියමිතයි. 

2009 වසරේ ක්‍රිකට් පරිපාලන කටයුතු අරඹන ජේ ෂා 2019 සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මේ දක්වා කටයුතු කරනවා.

2021 සිට මේ දක්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ඔහුයි.