Saturday, November 16, 2024

General line - 0115112241

රනිල්, ජනපති සටනට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

උදය කුමාර




වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට තරඟ වැදීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්වයි. 

මෙම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ. එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් මතු කළ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. 

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාල පෙත්සම තුළ මුද්‍රණ දෝෂ මෙන්ම නීතිමය දෝෂ ගණනාවක් දක්නට තිබෙන බව චෝදනා කළා. 

පදනම් විරහිත, අසත්‍ය හා නොමග යවන සුළු තොරතුරු පදනම් කරගෙන පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙසයි ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේදී දැඩි දෝෂාරෝපණ එල්ල කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ එච් එම් ඩී නවාස්, පෙත්සම්කරු නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් මෙවැනි පෙත්සමක් ගොනු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළා.

අදාල පෙත්සම තුළ මුද්‍රණ දෝෂ පමණක් නොව නීතිමය දෝෂ ගණනාවක්ම පවතින බව ද එහිදී පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෘජුවම ජනාධිපතිවරයා පෞද්ගලිකවම පාර්ශ්වකරුවකු වශයෙන් නම් කරමින් මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයකට අනුව අදාළ පෙත්සම රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවට නියෝග කෙරුණා.