ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් වෙත කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් අලි සහිර් මවුලානාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින්.
අලි සහිර් මව්ලානා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහ ලේකම් නිසාම් කාරියප්පර්ට එරෙහිවයි. එම වාරණ නියෝගය ලබන 11 වනදා දක්වා බල පැවැත්වෙනවා.
පැමිණිලිකරු කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද? යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අගෝස්තු මස 04 වනදා රැස්වූ බවයි. එම උත්තරීතර මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් එහිදී පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද එම තීරණය තමන්ට දැනුම් දී නොතිබූ බවත් පැමිණිකරු ප්‍රකාශ කර තිබෙනවා.
එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විනය ක්‍රියාමාර්ගයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.