Saturday, November 16, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ




2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 04වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව පවතින බවයි එම මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

සැප්තැම්බර් 09 සහ සැප්තැම්බර් 06 යන දෙදින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. 

ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිල ඇඳුම් කාර්ය මණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවලදී සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා. 

ඉහත දැක්වූ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12යන දින දෙකේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක වැඩිදුරටත් සඳහන්.