Saturday, November 16, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට සහ පොලිසියට මල් මිටක්




ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධීව ප්‍රදර්ශනය කළ පෝස්ටර්, බැනර් සහ කටවුට් විශාල ප්‍රමාණයක් මේ වනවිට ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ පොලිස් නිලධාරින් ජංගම සංචාරයේ යෙදෙමින් සහ කම්කරුවන් යොදා ගනිමින් එම කටයුතු සිදු කරන බවයි.


ජනපති අපේක්ෂකයන්ට අදාළව රථ වාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් සහ ස්ටිකර් ඉවත් කිරීමේ කටයුතු ද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.


මේ අතර රටේ පොලිස්පතිවරයෙකු නොමැති වුවද පොලිසිය විසින් මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ වාර්තා වන පැමිණිලිවලට අදාළව මැතිවරණ කොමිසම සහ පොලිසිය සෘජුව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

මේ දක්වා කාලය තුළ පැෆරල් සංවිධානයට ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 553ක් ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචන්ඩ ක්‍රියා සිද්ධීන් 11ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 1,802ක් ද ලැබී තිබෙනවා.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1,081ක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණීලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

සෙසු පැමිණිලි 721 ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

වෙනත් පැමිණිලි 80ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති    බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 01 වනදා දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1,873ක්.

ඉන් පැමිණිලි 1,1152ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්  ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසුවේ.