කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට, ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙක්.
ඔහු දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානයට පිවිසීම සදහා ඇමෙරිකානු ඩොලර් 60ක මුදලක් වැය කර, කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත” ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබෙනවා.
එම තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත, ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා ගෙන ගොස්, එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
එහිදී එම නිලධාරීන් විසින් සිදුකල තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකාර තරුණයා එම නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්පසුව මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද සොයාගත් බවයි එම නිලධාරින් පැවසුවේ.
ඒ අනුව එම තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.