Saturday, November 16, 2024

General line - 0115112241

ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළී තුන් දෙනෙකු අතුරුදන්




ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් මුදාගෙන තිබෙනවා.

එම ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

අනතුරට ලක්වූ “නිහතමානි 01” යාත්‍රාව පසුගිය 25 වනදා ධීවර ධීවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී  ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අද අළුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කළ විදේශීය නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ගොස් ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

“නිහතමානි 01” යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව තිබෙනවා.

එහි සිටි සෙසු ධීවරයින් සිව් දෙනා “ලසන්ත 01” නැමැති බුහුදින ධීවර යාත්‍රාවෙන් බේරා ගැණුනු අතර එහි සිටි එක් ධීවරයෙක් අසාධ්‍ය තත්ත්වයේ සිටින බැවින් කඩිනමින් ඔහු ගොඩබිමට රැගෙන ඒම සඳහා “ලසන්ත 01” යාත්‍රාව විසින් නාවික හමුදාවේ සහය ඉල්ලා  තිබෙනවා. 

ඒ අනුව, එම දැනුම්දීමට, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ  උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වහාම පිටත් කර හැරි බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර, “නිහතමානි 01” ධීවර යාත්‍රාව අනතුරට ලක් කරමින් යාත්‍රා කළ විදේශීය නෞකාව හඳුනාගෙන, එම නෞකාවට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යාලය සමඟ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.