රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණය ආසන්නයේ සිදු කළ මෙම වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවකයින්ට සිදු කරන අනියම් බලපෑමක් බව පවසමින්.
වත්මන් ආණ්ඩුව මෙන්ම වෙනත් අපේක්ෂකයින්ද මෙලෙස රාජ්‍ය සේවකයින් ඉලක්ක කර විවිධ සහන ලබා දීමට යෝජනා කිරීම අනීතික බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
" තැපැල් ජන්දය ආසන්නයේදීම ආණ්ඩුව කැබිනට් තීරණයක් හැටියට මේ ජනවාරි මාසයේ සිට පඩි වැඩි කිරීමට ගනු ලැබූ තීන්දුව පිළිබදව එය ජන්ද දායකයින්ට බලපෑමක් එල්ල කිරීම පිළිබදව අපි මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දිනයේදී පැමිණිල්ලක් යොමු කරනු ලැබුවා. ඒ වගේම අපි දැක්කා වෙනත් දේශපාලන ධාරාවනුත් විවිද තැපැල් ජන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් විවිද ප්‍රකාශ නිකුත් කරනවා. කොහොම උනත් අපි විශ්වාස කරනවා තැපැල් ජන්ද දායකයින් රාජ්‍ය නිලධාරීන් හැටියට තමන්ගේ අභිමතය පරිදි බාදාවකින් තොරව තමන්ට ජන්ද පාවිච්චි කරන්නට අද දවස තුල ඉඩකඩ ලැබෙනවා කියලා "