Saturday, November 16, 2024

General line - 0115112241

උතුරු මුහුදේ කුඩු කිලෝ 196 නඩුවෙන් නිදොස් කල තිදෙනෙක් අල්ලන්න අධිකරණයෙන් නියෝග

උදය කුමාර




2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන්ඩු නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.  

මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බල රහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදේශවලට පලා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

තවරාසා සුදාකරන් නමැති විත්තිකරු මැලේසියාවටත් කන්දයියා චන්ද්‍ර කුමාර් නැමැති විත්තිකරු සිංගප්පූරුවටත් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද ඇය කියා සිටියා.

මෙම විත්තිකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය පියවර ආරම්භ කර තිබෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම වරෙන්තු වලට අදාළ පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ විත්තිකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.