ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද වැඩිදුර කරුණු වාර්තා කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල මැදිරියේදී මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
හිටපු පොලිස් නිලධාරියකු ලබාදුන් තොරතුරු මත මෙම විමර්ශනය සිදු කරන බව එහිදී ප්‍රකාශ වී තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල වීමට පවතින සූදානම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් පිළිබඳව විමර්ශන සිදු කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 02 වනදා කොළඹ මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියට අතිශය රහසිගත වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.
මහනුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවත් පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇතැයි ද පැවසෙනවා.
ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලිසියට දැනුම් දී ඇති මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වේ නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දැනුම්දී තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධියට අදාල නඩු ගොනුව අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමටද නියෝග කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.