Thursday, November 7, 2024

General line - 0115112241

චීන ජපන් ඉන්දියා ඇතුළු රටවල් 07ක මෙරට නියෝජිතයින් ජනපති හමුවෙයි




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ, සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුවයි.

ඒ අනුව කියුබාව, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, චීනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ඇති. 

මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බවටද මෙහිදී සහතික වී තිබෙනවා.         

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි මෙහිදී සඳහන් කර ඇත්තේ.