ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.
කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 - 2024 වසරවලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුවන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් එහිදී අවධාරණය කර තිබෙනවා.
කොරියානු එක්සීම් බැංකුවේ අධ්යක්ෂ වොන්සුක් හා නියෝජ්‍ය අධ්යක්ෂ හනුයි හන්, ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක්ද ජනාධිපති කාර්යායේදී සිදුව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ඉදිරි සහායෝගීතා වැඩපිළිවෙළ පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇති උනන්දුව පිළිබඳව නිත්‍ය නේවාසික නියෝජිතවරිය එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව දැනුවත් කර තිබෙනවා.
දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්රයත්නයන් මෙහිදී ඇගයීමට ලක් කළ අසූසා කුබෝටා මහත්මිය රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා කඩිනමින් ඩිජිටල්කරණයට යොමුවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
මෙම ප්‍රතිසංස්කරණ මනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළ කුබෝටා මහත්මිය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ මුලපිරීම් ඉදිරියට ගෙන යාමට සහ ඩිජිටල්කරණයට අනුවර්තනය වීමට අවශ්‍ය නිපුණතාවලින් සහ දැනුමෙන් රාජ්‍ය නිලධාරීන් සන්නද්ධ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදිමට සූදානම් බවටයි ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වී ඇත්තේ.